රෝෂන් තුෂාර

"කොන්ත්‍රාත් පදනම මත රියදුරු පත්වීම් ලබාදී ඇමතිතුමාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන්න"යනුවෙන් සටහන්කර ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාට බඳවා ගත් සේවකයන් 06 දෙනකු කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ දේශපාලන කාර්යාලයේ වැඩට යොදවා රජයට පාඩු කළේ යැයි එම සංස්ථාවේ හිටපු සභාපති සහ හිටපු අධ්‍යක්ෂවරයා ලබන 17 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.ඩි. ජානක මහතා අද නියෝග කළේය.

රජයට රුපියල් 14325422.00 පාඩු කළේ යැයි කියන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ දේවප්‍රිය අබේසිංහ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමති ධුරය හෙබවූ කාලය තුළදී රූපවාහිනී සංස්ථාවට කොන්ත්‍රාත් පදනම මත සේවකයන් බඳවාගෙන , අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොර ව එම සේවකයන් අමාත්‍යවරයාගේ නිල නිවසට අනුයුක්ත කර වැටුප් ගෙවා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී රූපවාහිනී සංස්ථාවට සේවකයන් හය දෙනකු බඳවාගෙන, එම සේවකයන් අමාත්‍යවරයාගේ දේශපාලන කාර්යාල පුද්ගලික කාර්යාලයට අනුයුක්ත කර දීමනා සහ වැටුප් ගෙවා සංස්ථාවට පාඩු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවද , විමර්ශන අවසන් නොමැති බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.